ශාසනික සේවාවන්

ශාසනික සේවාවන්

ශ්‍රී සෞගත විද්‍යාල පිරිවෙණ

ශ්‍රී සෞගත විද්‍යාලය පිළිබඳව පැරණි වාර්තාවක මෙසේ සඳහන්‌ චේ. පිරිවෙණ ආරම්භ කිරීමෙහි පරමාර්ථය සහ එය සකස්‌ වී ඇති ආකාරය එම වාර්තාවෙන්‌ පැහැදිලි වේ.
භික්ෂූන්‌ වහන්සේලාට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ වටිනාකම අවධාරණය කර තිබිම වැදගත්‌ කාරණයකි.
“1896 සැප්තැම්බර්‌ මස 17 වෙනි දින මෙම සෞගත විද්‍යාලය පිහිටුවන ලද්දේ බෞද්ධ කුලදරුවන්ටත්‌ ඉංග්‍රීසි භාෂාව සහිත බුද්ධ ධර්මය ඉගැන්වීමෙන්‌ සම්බුද්ධ ධර්මය බටහිර දේශවාසීන්‌ අතුරෙහි ද පතළ කරන අදහසිනි. ධර්මාරක්ෂක සභාව අභාවයට පැමිණීමෙන්‌ ඒ අදහස ඒ සභාව මගින්‌ මුදුන්‌ නොපැමිණි හෙයින්‌ ඉන්පසු 1903 නේ ඔක්තෝම්බර්‌ මාසයේදී “සෞගත සංරක්ෂක” යන නමින්‌ සභාවක්‌ පිහිටුවා ඒ සභාව මගින්‌ බෞද්ධ ගැහැණු පිරිමි දරුවන්ට බුද්ධ ධර්මය සහිතව ඉංග්‍රීසි භාෂාව පුහුණූ කරවනු පිණිස විශාල වූ ඉංග්‍රීසි පාඨශාලාවක් ආරම්භ කරන ලදී. 1903 දෙසැම්බර්‌ මස 20 දින සෞගත විද්‍යාලයේ පාලනය ද එම සභාවට භාරගන්නා ලදී. "

ප්‍රජාපතී ගෝතමී උපාසිකා සමිතිය

රන්කොත්‌ විහාරාධිපති මහාචාර්ය මොරටුවේ සාසනරතන අනුනායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේ විසින්‌ සුසන්තා ද ෆොන්සේකා ආර්යාවගේ සහයෝගයෙන්‌ 1975 ජනවාරි 19 වෙනි දින ප්‍රජාපතී ගෝතමී උපාසිකා සමිතිය ආරම්භ කරන ලදී. රන්කොත්‌ විහාරස්ථානයේ සංරක්ෂණය, අභිවෘද්ධිය සහ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්‌ම ප්‍රදේශයේ සමාජ - සේවාවන්හි නියැලීම ද මෙම සමිතිය ආරම්භ කිරීමේ පරමාර්ථ විය. සමිතිය ආරම්භයේ සිට මේ දක්වා පන්සල සමග සුහදව සහ අන්‍යෝන්‍ය සහයෝගිව ක්‍රියා කර ඇත.
ආරම්භක සභාපතිනිය වූයේ විනිප්‍රඩ්‌ රුද්‍රිගෝ මැතිණියයි. එතුමිය වසර විසිහතක්‌ පමණ අඛණ්ඩව සභාපති ධුරය දැරූවාය. එතුමිය තම ජිවිත කාලය ම පන්සලේ අභිවෘද්ධිය සඳහා කැප කළාය. සාමාජිකාවන්ගේ සුභ සාධනය පිළිබඳව නිරතුරුව අවදියෙන්‌ පසුවූවාය. ආරම්භක භාණ්ඩාගාරිකාව වූයේ බර්නි රුද්‍රිගෝ මැතිණියයි. අනතුරුව වසර ගණනාවක්‌ ම බිල්සි ප්‍රණාන්දු මැතිණිය භාණ්ඩාගාරික ධුරය දැරුවාය. වසරගණනාවක්‌ම ලේකම්ධුරය දරන ලද්දේ විමලා පෙරේරා මහත්මිය විසිනි. පසුකාලයෙහි එතුමිය පාණදුරේ වපිරා භික්ෂුණිය නමින්‌ පැවිදි ජීවිතයට ඇතුළත්‌ වූවාය. උතුම්‌ ශාසනික පැතුම ඉටුකර ගැනීමට ලැබීම නිසා එතුමිය අපමණ සැනසීමට පත්වූවාය. මෙම සමිතියේ වර්තමාන සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ ඩබ්ලිව්‌. ධර්මනී තිලකා ද සිල්වා රුද්‍රිගෝ මැතිණියයි.

ශ්‍රී සාසනරතන දහම් පාසල

1903 අප්‍රියෙල්‌ මස 22 වෙනි දින රන්කොත්‌ විහාරස්ථානයේ දහම්‌ පාසල ආරම්භ කරන ලදී. වල්පිට ගුණරතන තිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන්සේගේ අනුශාසකත්වයෙන්‌ සහ පණ්ඩිතාචාර්ය පාණදුරේ ඤාණවිමල තිස්ස නායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේගේ මෙහෙයවීමෙන්‌ දහම්‌ පාසල ආරම්භ විය.

මුල්කාලයෙහි ආතර්‌ වී. දියෙස්‌ මැතිතුමා ඇතුළු කිහිපදෙනෙක්‌ ප්‍රධානාචාර්ය ධූරය දරා තිබේ. දැනට මෙම දහම් පාසලේ සිසුන් 680 ක් ඉගෙනුම ලබන අතර ගුරු මණ්ඩලය 27 කි. විහාරස්ථානයේ නායක හිමි , මහාචාර්ය කහපොළ සුගතරතන මහනායක හිමි ප්‍රධාන ධූරය හොබවති.

බෞද්ධ සංගමය

සංගමයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ, 2500 (1956) වන සම්බුද්ධ ජයන්තිය නිමිති කර ගනිමින් 1960 වර්ෂය වන විට, බෞද්ධ මහා සංගමය විසින් පාණදුර පුරවරයට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර ඇති බවයි. ඒවා අතරින්,

  • 1954 වර්ෂයේදී ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කිරීම.
  • 1954 ජූලි 09 දා පාණදුරේ මහා වාදය පැවැත්වූ භූමිය බෞද්ධ මහා සංගමයට පරිත්‍යාග කිරීම.
  • රන්කොත් විහාරයේ ශීල පිංකම් පැවැත්වීම 1954 වර්ෂයේ උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ කිරීම.
  • 1956 දෙසැම්බර් 29 දා ගුණානන්ද ප්‍රතිමාව විවෘත කිරීම.
    1960 මැයි 11 දා වලාන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම.

මේ අනුව, පාණදුරේ බෞද්ධ මහා සංගමය නිසා, පාණදුර නගරය, මෙරට පමණක් නොව මුළු මහත් ලෝකය තුලම ප්‍රසිද්ධ වූ බව පැහැදිලි වේ. මෙම සංගමයේ මුල් නියමුවන් වුයේ රේන්ද කර්මාන්තයේ මෙන්ම වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වූ පාණදුරේ විසූ ප්‍රභූවරුන් ලෙස සැලකූ අය වේ. පාණදුර පුරවරයේ මෙන්ම දිවයිනේ වෙනත් නගරවල පාසැල් ආරම්භ කිරීමට ඔවුන් පුරෝගාමී විය. එමෙන්ම පාණදුර රන්කොත් විහාරයට ඉඩ කඩම් පරිත්‍යාග කරමින් ඒවායේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ද දායක වී ඇත.

මාසික පොහොය ශීල පිංකම

ආතර් වී දියෙස් මැතිතුමාගේ අනුශාසකත්වය පෙරදැරි කරගෙන ආරම්භ කරන ලද පාණදුරේ බෞද්ධ මහා සංගමය, 1954 වසරේ උදුවප් පොහොදින පටන් රන්කොත් විහාරය හා අනුබද්ධව වර්තමානය දක්වාම ක්‍රියාශීලිව පවත්වා ගෙන යනු ලැබේ. එහිදී සෑම පොහෝ දිනකදීම රන්කොත් විහාරයේ ශීල පිංකම සියලු බර පැන දරමින් ඉතා සාර්ථකව පවත්වා ගෙන යාම ප්‍රධාන වේ. ජෙරමියෙස් දියෙස් මැතිනිය රූඩ් 3කුත් පර්චස් 5 පමණ වූ ඉඩමක් රන්කොත් විහාරයට පූජා කරන ලදී. ශාන්ති ශ්‍රී චන්ද්‍රෙස්කර මහතා වලාන බුද්ධ ප්‍රතිමාවහන්සේගේ බර පැන ඉසිලු අතර රිචඩ් සල්ගාදු මහතා සහ රාජා සල්ගාදු මහතා සමඟ අංග සම්පූර්ණ මුළුතැන්ගෙයක් සාදා රන්කොත් විහාරස්ථානය වෙත පූජා කරන ලදී. එම නිසා, රන්කොත් විහාරස්ථානයේ සිල්සමාදන් වූ උවැසි උවැසියන්ට උදේ දානය, දහවල් දානය සහ ගිලන් පස විහාරස්ථානයේම පිළියෙල කර පිළිගැන්වීමට අවස්ථාව උදා විය.

1956 බුද්ධ ජයන්තිය නිමිති කොටගෙන 1958 දෙසැම්බර් 03 දින බෞද්ධ ග්‍රන්ථයක් එළිදැක්විය. 1960 වර්ෂයේදී පමණ විහාරාධිපති පූජ්‍ය මොරටුවේ සාසනරත්න හිමිපාණන් විසින් යෝජනා කර ඇති මාතෘකා යටතේ උගත් ස්වාමින් වහන්සේලා වැඩම කරවීමෙන් සෑම සෙනසුරාදා රාත්‍රියකදීම රන්කොත් විහාරස්ථානයේ ධර්ම දේශනා පවත්වා තිබේ.
වර්තමානයේ බෞද්ධ කටයුතු කමිටුවේ ගරු සභාපති වනුයේ ඩබ්ලිව්. නොයෙල් ප්‍රනාන්දු මහතායි. එසේම ශීල පිංකම මෙහෙයවනු ලබන්නේ එම්. ඇන්තනී ප්‍රනාන්දු මහතා විසිනි. එහිදී එම්.සරත් පෙරේරා මහතා ඔහුට මනා සහයෝගයක් ලබා දේ.

වලාන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

වලාන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වාත්තු කිරීමේ ශිල්පීය ක්‍රමයට අනුව, පිත්තල මිශ්‍ර ලෝහයෙන් නිර්මාණය කර ඇත. මෙම පිළිම වහන්සේ හැටේ දශකයේ නිර්මාණය වී ඇති බැවින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ලබා දි නොමැත.

මහා කරුණා ගුණය, ශාන්ත භාවය, ප්‍රඥාව යන අංගයන් ප්‍රතිමා වහන්සේට එක් කිරීමට ප්‍රතිමා ශිල්පියා දරා ඇති උත්සාහය ඉතා විශිෂ්ඨ වන අතර සමාධි මුද්‍රාව හා වීර ආසනයේ ගති ලක්ෂණ මෙම නිර්මාණය සඳහා උපයෝගී කරගෙන ඇත. මෙම ප්‍රතිමා වහන්සේ පාණදුර රන්කොත් විහාරයේ 19 වන සියවසට අයත් විහාර කර්මාන්තයේ බුදු පිළිම වහන්සේලාට නෑකම් කියයි.

පාණදුරේ බෞද්ධ මහා සංගමය විසින් ඉන්දියාවේ මැඩ්රාස් වල විසූ සුප්‍රසිද්ධ මානි නම් ප්‍රතිමා ශිල්පියාව ලංකාවට ගෙන්වා ගෙන, බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ මහා භාරදූර කාර්යය ඔහුට භාර දෙන ලදී. වාස්තු විද්‍යාව අනුව නිර්මාණය කළ මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සඳහා එවකට එනම් හැටේ දශකයේ, මුදලින් රු. දසදහසක් පමණ වැයවී ඇති බව පැරණි ලේඛන වල සඳහන් වේ. රාජා සල්ගාදු මහතා පවසන ආකාරයට, මෙම පිළිම වහන්සේ කොළඹ හේවුඩ් ස්කූල් ආයතනයේදී නිර්මාණය කර ඇති අතර පසුව, දොඹකරයක මාර්ගයෙන් ඔසවා ගෙන විත් පාදම මත තැන්පත් කර ඇත. වර්ෂ දෙකකට වරක් රන්වන් වර්ණය ආලේප කරයි.

අවුරුදු 200+ රූප මන්දිරය සහ බිතු සිතුවම් රැකගනිමු

ඊළඟ පරම්පරාවන් සඳහා අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට දායක වන්න

"පාණදුර රන්කොත් විහාරය එහි විවිධ පැතිකඩයන් අතර පාණදුර බෞද්ධ ජනගහනයේ ආගමික හා භක්තියේ සංකේතයක් ද වේ."

~පූජ්‍ය මහාචාර්ය බෙලන්විල විමලරතන අනුනායක තෙර
Spectrum, Sunday Observer (2010/10/03)