පාණදුර ගුණානන්ද හිමි මහා වාදය
ශ්‍රී ලංකාවට ලොව අද්වීතීය ස්ථානයක් හිමි වූයේ බුදු දහම නිසාය. මිහිඳු මහරහතන් වහන්සේ
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ලක්දිවට
වැඩම වීමෙන් පසුව බුදු දහමත් සමඟ මෙරටට දයාද කරන ලද සිංහල භාෂාව හා සංස්කෘතිය, එදා සිට
ක්‍රමයෙන් විකාශනය වීම ආරම්භ වුණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යාපනය, සාහිත්‍යය, කලා ශිල්ප, විහාර කර්මාන්ත ඇතුළු අංශයන්හි
සීඝ්‍ර වර්ධනයක් සිදු වූ අතර ලෝකයේ
විශිෂ්ට වූ වාරි නිර්මාණද බිහි විය. වාස්තු විද්‍යාව හා කෘෂි කර්මාන්තය රට තුල වර්ධනය වීමට
ප්‍රධාන ලෙසම ඒ සඳහා ලැබුණු
රාජ්‍ය අනුග්‍රහය හේතු විණි. එම නිසා ‘පෙරදිග ධාන්‍යාගාරය’ යන නාමය ද ශ්‍රි ලංකාවට
ලැබුණි.
මෙවන් සශ්‍රීක ශ්‍රේෂ්ඨ වූ යුගයකට අඳුරක් උදා කරමින් 1505 නොවැම්බර් මස 15 වන දින
පෘතුග්‍රීසි ජාතික සේනාවන් මෙරටට අනපේක්ෂිත
ලෙස ඇතුළු වූ අතර ඔවුන් විසින් බෞද්ධ විහාරස්ථාන විනාශ කොට භික්ෂුන් පළවා හැර ක්‍රිස්තියානි
ආගම පැතිර වීමට කටයුතු කරන ලදී.
එහිදී, ක්‍රිස්ත්‍රියානි ධර්මය පිලි නොගත් දහස් ගණන් ජනයා ඝාතනය කරවන ලදී. 1658 වර්ෂයේදී
දිවයින ආක්‍රමණය කල ඕලන්ද
අධිරාජ්‍යවාදින් විසින් පෘතුගීසීන්ව පළවා හරින තුරුම, ඔවුන් විසින් වසර 150ක කාල වකවානුවක්
දිවයිනේ වෙරළබඩ ප්‍රදේශය පාලනය
කරන ලදී. පිලිප්පුස් බැල් ඩියුස් නම් වූ ඕලන්ද ජාතික පියතුමා විසින් 1672 වර්ෂයේදී ඕලන්ද
භාෂාවෙන් රචිත ‘ශ්‍රේෂ්ඨ දිවයින
ලංකාව’ නම් ග්‍රන්ථයේ දැක්වෙන පරිදි ලන්දේසින්ගේද අභිප්‍රාය වූයේ ක්‍රිස්තියානි ආගම
ව්‍යාප්ත කිරීම සහ ලංකාවේ අපනයන ද්‍රව්‍ය
ලබා ගැනීමත්ය.
පසුව, ඕලන්ද ජාතිකයන් පලවා හරිමින් බ්‍රිතාන්‍යයන් මෙරටට ඇතුළු වූ අතර, 1815 මාර්තු මස 02
දින අත්සන් තැබූ උඩරට ගිවිසුමෙන්
අනතුරුව ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය. බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ අධ්‍යාපන
කටයුතු භාරව සිටි බැමිනිටියස් නම්
සාමිවරයා ‘බැමිනිටියස් මිනිට් ඔන් එඩියුකේෂන්’ නම් ග්‍රන්ථය ලියා බ්‍රිතාන්‍ය මහ රැජිනට
පිළිගැන්වීය. එහි විශේෂයෙන්ම යටත්
විජිත බවට පත් කර ගත් රටවල් දියුණු කිරිමට ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව යෝජනා ඉදිරිපත්
කර ඇත. ඒවායින් විශේෂිත කරුණු
03ක් වූයේ යටත් විජිත වැසියන් අතර ක්‍රිස්තියානි ආගම පැතිරවීම, ඔවුනට බ්‍රිතාන්‍ය සංස්කෘතිය
හඳුන්වා දීම හා ඔවුන්ගේ ජීවන
පැවැත්ම සඳහා උපයෝගී කර ගන්නා තාක්ෂණික ක්‍රමවේද වෙනුවට බටහිර තාක්ෂණික ක්‍රමවේද එම
ප්‍රජාවට හඳුන්වා දීමයි. මින් තෙවැනි
යෝජනාව ඉතා අප්‍රසන්නම යෝජනාව ලෙස හඳුනා ගත හැකි ය. මේ අනුව, වර්තමානය වන විට ඔවුන්ගේ
ප්‍රතිසංස්කරණ කෙතරම් සාර්ථකව
ක්‍රියාත්මක වන්නේ දැයි අප ජීවත් වන වටපිටාවේ සිටම විමර්ශනය කල හොත්, කිසිදු තනි ලාංකීය
නිෂ්පාදනයක් දක්නට නොමැති තරම්ය.
ඇත්තේ බටහිරකරණය කරන ලද තාක්ෂණික උපකරණ හා මෙවලම් වේ. මෙම ප්‍රතිසංස්කරණ 1835 ලංකාවේ
ක්‍රියාත්මක වූ අතර වෙල්ලස්ස ප්‍රදේශයේ
තිබූ වෙල් ලක්ෂයක් පමණ විනාශ කරන ලදී. කෘෂි ආර්ථිකය ක්‍රමයෙන් වැවිලි ආර්ථිකයක් ලෙස
පරිවර්තනය කරන ලදි. ඇලවේලි වාරි කර්මාන්ත
විනාශ කරන ලදී. වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතානන්ගේ ‘පුරා විද්‍යාව’ නම් ග්‍රන්ථයේ සඳහන් වන
පරිදි අනුරාධපුරයේ තිබූ නටබුන්
වූ ශෛලමය පුරාවස්තු මහා මාර්ග සෑදීම සඳහා යොදා ගන්නා ලදී. පූජා භූමිවල ක්‍රිස්ත්‍රියානි
පල්ලි ඉදි කරන ලදී. ඒ සඳහා එරෙහි
වූවන් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඉංග්‍රීසින් විසින් සිංහලයන්ට විවිධ නම්බුනාම, රැකියා
තනතුරු ඇතුළු විවිධ වරප්‍රසාද
ලබාදීමට කටයුතු කල අතර එසේ එම වරප්‍රසාද ලබා ගැනීමේ අරමුණින් බුදුදහම හැර ගිය මිස දුටු
සිංහලයෝ බැප්ටිස්ට් මිෂනාරි පාදිලිවරු
මෙන්ම අධිරාජ්‍යවාදී පාලකයින් සමඟ එක්ව නිර්මල බුදු දහම විකෘති කරමින් මහ සඟරුවනට අවමන්
කරමින් ලක්වැසි ජනතාව නොමඟ යවමින්
බුදු දහම විනාශ කොට ක්‍රිස්ත්‍රියානි ආගම මෙරට තුල පැතිරවීම සඳහා කටයුතු කළහ. එම බෞද්ධ
විරෝධි බලවේගයන්ට එරෙහිව දැවැන්ත
සටනක් දියත් කළේ වාදිහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි ය.
එම හිමියන් බලපිටිය මෝදර මොහොට්ටිවත්ත නම් ග්‍රාමයේ 1823 පෙබරවාරි මස නව වෙනි දින මිගෙල්
මැන්දිස් සිල්වා නමින් උපත ලැබීය.
පසුව, ගුණානන්ද හිමි නමින් පැවිදි වූ එතුමා බුදු දහමේ පරම සත්‍යය ජනතාවට අවබෝධ කිරීම උදෙසා
දිවයින පුරා වැඩම කොට දේශණ 4000
පමණ පවත්වා ඇත. මේ අතර 1865 වරාගොඩ, 1865 බද්දේගම, 1866 උදන්විට, 1870 ගම්පල ආදි ස්ථානවල
ප්‍රසිද්ධ වාද සතරක් පවත්වා තිබේ.
ඒවා ලිඛිතව ලිපි මගින් කළ වාද බව සඳහන් වේ. එනම් දෙපාර්ශවයම ලිපි මගින් වාද කිරීමයි. 1873
අගෝස්තු මස 26 හා 28 දිනයන් හි
සිදු කළ මහා වාදයට මුල් වූයේ 1873 ජූනි මස 12 වන දින රන්කොත් විහාරයට නුදුරු වෙස්ලියන්
පල්ලියේදී දාවිත් ද සිල්වා
දේවගැතිතුමා බුදුදහමේ මූලික ඉගැන්වීම්වලට විරුද්ධව සිදු කළ දේශනාවයි. එතුමාගේ අදහස් වල
මූලික හරය වූයේ සත්වයා මෙලොව කරන්නා
වූ කුසලා අකුසල කර්මයන් තම මරණයෙන් පසු විදින්නේ තමා නොව වෙනත් සත්වයෙකු බවයි.
මෙම දේශනාවට විරුද්ධව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් ජූලි මස 19 වන දින පාණදුර
ගල්කන්දේ විහාරය නොහොත් රන්කොත්
විහාරයේ සිට දේශනයක් පවත්වමින් කියා සිටියේ එම කුසලාකුසල කර්මයන් විදිනු ලබන්නේ එම
සත්ත්වයාම බවයි. මේ සම්බන්ධයෙන් දේශනා
පන්සල සහ පල්ලියේ දිගටම සිදුවූ අතර බෞද්ධාගම සම්බන්ධ වෙනත් වැරදි අදහස් ඇතුළත් දේශන නිසා
අවසානයේදී මහත් අර්බුධකාරි
වාතාවරණයක් ඇතිවීම නිසා පසුව එය සමාජ කතිකාවතක් බවට පත් විය.
මෙම අර්බුධකාරි වාතාවරණයට පිළියමක් ලෙස මෙම මහා වාදය කරවීමේ ආදි කර්තෘවරයාණන් වන්නේ රන්කොත්
විහාරාධිපති පූජ්‍ය ගුණරත්න
තිස්ස හිමිපාණන් වහන්සේය. පී. ජෙරමියෙස් දියෙස් සහ කුරුකුලසූරිය කොරනෝලිස් පෙරේරා අප්පුහාමි
යන ප්‍රධාන දායක මහතුන් දෙපළ සමඟ
සාකච්ඡා කර මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වැඩම කර දේශනා කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව
ඔවුනොවුන් මුණගැසී වාදයක් කළ යුතු යැයි
තීරණයකට එළඹිණි. ඒ අනුව, 1873 අගෝස්තු මස 26, 28 දෙදින ජෙරමියෙස් දියෙස් මැතිඳුන්ට අයත්
දොඹගහවත්ත නමැති ඉඩමේ මෙම වාදය
පැවැත්වීමට දින නියම කර ගන්නා ලදී. වාදයට ප්‍රථමයෙන්, අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීම සඳහා
රන්කොත් විහාරයේ සංඝාවාසයේ උඩු මහලේ
දින කිහිපයක් ත්‍රිපිටක ග්රන්ථ මෙන්ම බයිබලයද විමර්ශනයට ලක් කරන ලදී. ඒ සඳහා ගුණානන්ද හිමි
සමඟ එවකට වැඩ සිටි ශ්‍රේෂ්ඨ
පඬිවරුන් වන හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි, වැලිගම ශ්‍රී සුමංගල මහා නාහිමි, බුලත්ගම
ධම්මාලංකාර නාහිමි, රත්මලානේ ශ්‍රී
ධර්මාලෝක නාහිමි, රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නා හිමි යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ
ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ
පඬිතුමන්ද සහභාගි වී ඇත.
ඒ පිළිබඳ පැරණි වාර්තාවල සඳහන් වන්නේ, වාදය පැවති දිනයේදී කරත්ත වලින් දහස් ගණන් බෞද්ධ
ජනතාව පැමිණි බවය. වාදය අවසානයේ බෞද්ධ
ජනතාව මහ හඬින් සාදුකාර දීම නිසා සමහර ක්‍රිස්තියානු බැතිමතුන් කෝපවීම නිසා තරමක
නොසන්සුන්තාවයක් ඇති වූ නමුදු කෝලාහලයක් ඇති
නොවූ බවත් එම වාර්තාවල සඳහන් වේ. එසේම, එම අවස්ථාවේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් නැගී
සිට නොසන්සුන්කාරි පිරිස දෙස බලා
‘සියල්ලන් නිශ්ශබ්ද විය යුතු ය’ යන්න ප්‍රකාශ ක ඇති බවත්, එසේ ප්‍රකාශ කරනවාත් සමගම සියළු
දෙනාම සන්සුන්වූ බවත්,
බුද්ධාගමිකයෝ මහත් වූ ප්‍රීතියෙන්ද ක්‍රිස්තියානුවෝ මහත් දොම්නසකින් විසිර ගිය බවත්, එම
වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
මෙම වකවානුව වන විට පාණදුර නගරය තුල දුම්රිය සේවයක් ක්‍රියාත්මක නොවූ අතර පාණදුරේ සිට කොළඹ
දක්වා දුම්රිය සේවාව ආරම්භ කරන
ලද්දේ 1877.09.01 දින දීය. 1864.09.17 දින උපත ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පාණදුරේ මහා
වාදය පවත්වන අවස්ථාව වන විට සිය
නව වන වියේ පසුවූ අතර එතුමාද මෙම වාදය දැක බලා ගැනීමට පැමිණි බව පැරණි මුලාශ්‍ර වල සඳහන්වේ.
එමගින් ඔහු ලද පන්නරයද එතුමාගේ
බෞද්ධ ආගම ජයග්‍රහණය කරවීමේ ව්‍යාපාරය සඳහා එතුමාට බොහෝ උපකාරි විය.
මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් සිදු කල ඒ ශ්‍රේෂ්ඨ වාදය එම අවස්ථාවේදීම සිලෝන්
ටයිම්ස් පත්‍රයේ කතෘ වූ ජෝන් කැපර්
මහතාගේ ඉල්ලීම අනුව නීතිඥයෙකු වූ කෝට්ටේ ඇඩ්වඩ් ප්‍රේරා මහතා විසින් ඉංග්‍රීසියට නගන ලදී.
එම වාදය දෙවැනි වරටත් ජේ.එම්.
පීබල්ස් මහතා ඇමරිකාවේදී පොතක් වශයෙන් එලි දැක්වීය. මෙම පොත හෙන්රි ස්ටිල් ඕල්කට් අතට
පත්වූයෙන් එය කියවා බලා ප්‍රීතියට
පත්වූ එතුමා වාදයට සම්බන්ධ සියලු දෙනාද වාද භූමියද දැක බලා ගැනීම සඳහා බ්ලැවැට්ස්කි
මැතිණියද සමඟින් හින්දු පර්සියන්
ජාතිකයන් පිරිසක් සමඟ 1880 මැයි මස 16 වන දින ගාළු වරායෙන් දිවයිනට පැමිණියේ ය.
හෙන්රි ස්ටිල් ඔල්කට්තුමා තමා බලාපොරොත්තු වූ කාර්යයන් ඉටු කර ගැනීමෙන් පසුව, පාණදුර
පුරවරයට පැමිණ 1868.12.08 දින ශ්‍රී
ලංකාව තුළ ලියාපදිංචි කළ ප්‍රථම බෞද්ධ මිශ්‍ර පාසල වන පාණදුරේ උපාධ්‍යාය විද්‍යාලයේදී
ප්‍රසිද්ධ දේශණයක් පවත්වා තිබේ. ඉන්
අනතුරුව 1880 ජූනි මස 17 වන දින කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය ආරම්භ කිරීමෙන් පසුව බෞද්ධ
පාසල් පිහිටුවීම ආරම්භ විය.
ආනන්ද, ධර්මරාජ, මහින්ද, ශ්‍රී සුමංගල, විශාඛා හා මහාමයා වැනි දිවයිනේ ප්රමුඛ පෙලේ පාසැල්
බිහි විය. බෞද්ධ දරුවන්ට උසස්
අධ්‍යාපන අවස්ථාව හිමි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වෙසක් පොහොදින රජයේ නිවාඩු දිනයක් බවට
පත් විය. සිංහල හින්දු අවුරුදු
දිනයද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කිරීම, ක්‍රිස්තියානි පල්ලිය සතුව තිබූ විවාහ හා
උප්පැන්න ලියාපදිංචිය හේතුවෙන් එම
ක්‍රිස්තියානි නම් ගම් ආදිය බෞද්ධයන්ගේ නම්වලට තිබූ බලපෑම අහෝසි වී සිවිල් රෙජිස්ටාර්වරුන්
පත් කිරීම, බෞද්ධ උත්සව පෙරහැර
පැවැත්වීමට අවසර ලබා දීම ආදී කටයුතු රාශියක් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වාදය හේතු කොට ගෙන
සිදු විය. එමෙන්ම කොළඹ
බෞද්ධාරක්ෂක කමිටුව විසින් නිර්මාණය කරන ලද ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය 1885 අප්‍රේල් මස 28 වන
දින පොහෝදා කොළඹ කොටහේනේ
දීපදුත්තාරාම විහාරස්ථානයේදී පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් ඔසවා බෞද්ධ
ජනතාවටද දායාද කරන ලදී. සිංහල
බෞද්ධයන්ට මහත් යුග මෙහෙවරක් කල මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ 1890 සැප්තැම්බර් මස 21 දින
අපවත් වී වදාළහ.
වර්තමානය වන විට දිවයිනේ වැඩිම විහාරස්ථාන පිහිටා ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර එයිනුත්
වැඩිම විහාරස්ථාන ප්‍රමාණයක් ඇත්තේ
පාණදුර පුරවරයේ ය. පාණදුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන අනුව විහාරස්ථාන 82ක්
භාවනා මධ්‍යස්ථාන 3ක් හා දහම්
පාසැල් 65කට වැඩි ප්‍රමාණයක් පවත්වා ගෙන යනු ලැබේ. එහිදී පාණදුර නගරාසන්නයේ පමණක්
විහාරස්ථාන 21ක් පිහිටා තිබීම විශේෂත්වයක්
වන අතර මෙයට ගුණානන්ද හිමි ගේ වාදයද වස්තු බීජයක් විය.
ඕල්කට් තුමා 1909.03.03 දින මෙලොවින් සමුගත්තද එතුමා පාණදුර නගරය මුල් කර ගනිමින් සමස්ත
ලෝකයා වෙත ගෙන ගිය බෞද්ධ පණිවිඩය
නිසා පාණදුර නගරය අදටත් විරාජමාන වීමට හේතු විය. පාණදුරේ ඩී.එම්.එස්. කවිරාජ පඬිතුමාගේ
කවිපෙළක පාණදුර වාදය පිළිබඳ මෙසේ
සඳහන් වේ.
පාණදුර පුර පටන්ගත් වැඩ සියල්ල සඵලව ගියේ
පාණදුර පුර වාදයෙන් බුදු දහම ලොව පතලව ගියේ
පාණදුර කුදිටු දිනනට වාසියක් නොමවී ගියේ
පාණදුර පාන සඳ ලෙස සැම තැන එළිව ගියේ.