විහාරස්ථානයේ පසුබිම

ඓතිහාසික පාණදුර රන්කොත් විහාරය

‘ගල්කන්ද විහාරය’ ලෙසද හැඳින්වෙන රන්කොත් විහාරය පාණදුර පිහිටි බෞද්ධ ආකර්ෂණයන්ගෙන් එකකි. කළුතර දිස්ත්‍රික්කයේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් ලෙස රන්කොත් විහාරය සුදුසුකම් ලබා ඇති අතර විහාරස්ථානය පිළිබඳව රසවත් කරුණු රාශියක් ඇත.
පන්සලේ වැදගත්කම ඔප්නංවන අද්විතීය ගෘහ නිර්මාණ සැලසුමකින් රන්කොත් විහාරය පොහොසත්ය.
බැලූ බැල්මට දෘශ්‍යමාන වන ලෙස ස්වාභාවික පර්වතයක් මත එය ඉදිකර ඇත. චෛත්‍යය, පැරණි බිතු සිතුවම් වලින් සමන්විත විහාර ගෙය, බෝධිය, අටවිසි බුදු මැදුර, ධාතු මන්දිරය, සප්තමහා දේවාල මන්දීරය, පැරණි පොත්ගුල, සහ ගණ්ඨාර කුළුණ පිහිටා ඇත්තේ උඩ මළුවෙහි ය. ආකර්ෂණීය සැලැස්මකට ගොඩනැගිලි ඉදිකර තිබීමෙන්‌ සනාථ වනුයේ පැරැන්නන්ගේ ගෘහනිර්මාණ ශිල්පයෙහි දක්ෂකම ය. දෑසට පෙනී යන දිව්‍යමය නිර්මාණය නිසා සැදැහැවතා පන්සලට පිවිසෙනුයේ ඇතුළාන්තයේ අපමණ සැනසිල්ලක්‌ ඇතිවයි. ඔහු හෝ ඇය ආධ්‍යාත්මික වන්දනාගමනකට අවතීර්ණ වෙයි.

අධ්‍යාපනය සඳහා රන්කොත්‌ විහාරයෙහි ප්‍රමුඛත්වය

ප්‍රධාන පාසල්‌ තුනක්‌ රන්කොත්‌ විහාරයෙහි ආරම්භ කරන ලදි. එනම්‌ උපාධ්‍යාය විද්‍යාලය (1868) ශ්‍රී සුමංගල මහා විද්‍යාලය (1909) සහ ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලයයි (1922), ලංකාවේ ලියාපදිංචි කරන ලද පළමුවෙනි බෞද්ධ පාඨශාලාව උපාධ්‍යාය විද්‍යාලයයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන්‌ බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතු යයි පණ්ඩිතාචාර්ය පාණදුරේ ඤාණවිමල තිස්ස නාහිමියන්‌ විසින්‌ ඉදිරිපත්‌ කරන ලද අදහස සහ මගපෙන්වීම අනුව ශ්‍රී සුමංගල මහාවිද්‍යාලය ආරම්භ කරන ලදී. එවක සිටි ප්‍රභූවරු කිහිප දෙනෙක්‌ මෙම මහා විද්‍යාලය පිහිටුවීම සඳහා මූලික වී ක්‍රියා කළහ.

මහාචාර්ය රාජකීය පණ්ඩිත
කහපොළ සුගතරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

විහාරාධිපති (1981 - වර්තමානය)

1980 වර්ෂයේදී උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස්‌ උපාධි ලබාගත්හ. ගෞරව ශාස්තුවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති උපාධි ලබාගැනීමෙන්‌ පසු දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගැනීමට සමත්‌ වූහ. උන්වහන්සේගේ “ A CRITICAL STUDY OF THE ARYA SALISTAMBSUTRA WITH SPECIAL REFERENCE TO PALI ABHIDHAMMA ” යන පර්යේෂණ නිබන්ධය සංවර්ධනය කර “CAUSALITY: EASTERN AND WESTERN THOUGHTS යන නමින්‌ ප්‍රකාශයට පත්කර ඇත. 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයකටද වර්ෂ 2000 දී සංස්කෘත අධ්‍යයනාංශාධිපති ධුරයට පත්වනු ලැබීමෙන්‌ සහ මහාචාර්ය පදවිය ද ලැබූහ.

උපහාරයක්‌ ලෙස උන්වහන්සේ වෙත “ශ්‍රී සාසනරතන වංශාවතංස ත්‍රිපිටක වාගීශ්වර විද්‍යාවිශාරද චන්ද්‍රකීර්ති ශ්‍රී” යන ගෞරව නාමය සහිතව අනුනායක පදවිය පිරිනමන ලදී. 2020 වර්ෂයේදී අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහනායක පදවියෙන් පිදුම් ලද්දාහ. 1903 අප්‍රේල් 22 වෙනි දින ආරම්භ කරන ලද ශ්‍රී සාසනරතන දහම්‌ පාසල මගින්‌ ප්‍රදේශයේ දරු දැරියන්ගේ සුචරිත වර්ධනය සඳහා උන්වහන්සේගෙන්‌ සිදුවන සේවය අනුපමේයයි.

ප්‍රජාපතී ගෝතමී උපාසිකා සමිතිය, පාණදුරා බෞද්ධ මහා සංගමය, බොදු පුබුදු පදනම සහ පාණදුරාවාද අනුස්මරණ සභාව ආදී ආගමික සහ සාමාජික සංවිධානයන්ට අනුශාසකත්වය දෙමින්‌ ප්‍රදේශයේ ආර්ථික හා සමාජ සුබසිද්ධිය වූ විවිධ ව්‍යාපෘතිවලට නියාමකත්වය සැපයූහ.

ජනප්‍රිය ධර්ම දේශකයාණ කෙනෙකු වන උන්වහන්සේ තම ගුවන්‌ විදුලි හා රූපවාහිණී ධර්ම දේශනා මගින්‌ ජනප්‍රසාදය දිනා සිටිති. මෙම ධර්ම දේශනා එකතු කර “අමා දහම්‌” නමින්‌ ඉතා වටිනා පොතක්‌ ප්‍රකාශයට පත්කර ඇත.

විහාරස්ථාන ඉතිහාසයේ පුරෝගාමීන්

ආරම්භයේ සිට රන්කොත්‌ විහාරයේ අධිපති ධුරය හෙබවූ ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේලා හත්නමකි

වල්පිට ගුණරතන මහානායක ස්වාමීන්ද්‍රයාණෝ

(1857-1920)

රන්කොත් විහාරයේ වර්තමාන දියුණුව ආරම්භ වූයේ වල්පිට ගුණරතන මහානායක ස්වාමීන්ද්‍රයාණන්‌ වහන්සේගේ යුගයේදීය. කළුතර පුලිනතලාරාමය, පින්වල පාඨලීරමක්ඛාරාමය, කෝවිල ගොඩැල්ලේ නාගානන්ද විහාරය යන විහාරස්ථාන උන්වහන්සේගේ ආධිපත්‍යය යටතේ පැවතිණ. 1920 ජූනි 17 වෙනි දින දරන “ලක්මිණ” පුවත්‌ පතෙහි වාර්තාවක මෙසේ දැක්වේ. පාණදුරේ රන්කොත්‌ විහාරාධිපතිව වැඩවිසූ අතිගෞරවාර්හ සිරිමුනිවර සද්ධම්ම වංසපාල සාසනධජ ගුණරතන තිස්සාභිධාන මහානායක මාහිමියාණන්‌ වහන්සේ වනාහි සම්බුද්ධ ශාසනයට හා මහාජනතාවට ද විශේෂාර්ථදායී කටයුතු රාශියක්‌ සිදුකර දීමෙන්‌ තමන්‌ ලත්‌ ජීවිතය සඵල කරගත්‌ උත්තමයාණ කෙනෙකි."

පණ්ඩිතාචාර්ය පාණදුරේ ඤාණවිමල තිස්ස නායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේ

(1920-1929)

සමකාලීන උගතුන් අතර විශිෂ්ට කීර්තියට පත්‌ වූ ඥානවිමල නායක ස්වාමීන්ද්‍රයාණන්‌වහන්සේ සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක්‌ දැරූහ. වැලිගම ශ්‍රී සුමංගල මහානායක ස්වමීන්ද්‍රයාණන්‌ වහන්සේගෙන්‌ පසු රන්කොත්‌ විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලයයෙහි පරිවෙණාධිපති ධුරයට පත්වූයේ උන්වහන්සේය. 1909 මාර්තු දෙවෙනි දින ශ්‍රී සුමංගල මහාවිද්‍යාලය පිහිටුවීම සඳහා අනුශාසනා කරන ලද්දේ උන්වහන්සේ විසින්‌ය. බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන්‌ අධ්‍යාපනය ලබාදීමේ වටිනාකම මීට වසර එකසිය එකකට පෙර ලන්වහන්සේ විසින්‌ අවධාරණය කරනු ලැබ තිබීම සැලකිය යුතු කරුණකි. වර්ෂ 1942 දී නිකුත්‌ කරන ලද ශ්‍රී සුමංගල විද්‍යාලය පිළිබඳ වාර්තාවක විද්‍යාලයයේ ආරම්භයට සහ සංවර්ධනයට උන්වහන්සේගෙන්‌ සිදු වූ සේවාව උසස්‌ ලෙස වර්ණනා කර ඇත.

කරගම්පිටියේ ජෝතිරතන අනුනායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේ

(1920-1958)

සිරි ඝන සාසනධජ කරගම්පිටියේ ජෝතිරතන අනුනායක ස්වාමීන්ද්‍රයාණන්‌ වහන්සේ පාලි භාෂාව සහ ත්‍රිපිටක ධර්මය පිළිබඳ විශේෂඥ උතුමෙකි. පාලිව්‍යාකරණය පිළිබඳව උන්වහන්සේ තුළ පැවතියේ පෘථුල දැනුමකි. "බාලාවතාර පුච්ඡා විස්සප්ජන" නමැති උන්වහන්සේගේ කෘතිය පාලි ව්‍යාකරණය පිළිබඳ සුවිශේෂ නිර්මාණයකි. ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන්‌ මෙහි බාලාවතාරය විග්‍රහ කෙරේ. මහාවග්ගපාලි විනය පොතට උන්වහන්සේ විසින්‌ කරන ලද පරිවර්තනය අතිප්‍රශස්තය, උන්වහන්සේගේ විනය විශාරදත්වය පිළිබඳව මහාසංඝයා අතර ඉමහත්‌ ප්‍රසිද්ධියක්‌ පැතිරි පැවතිණි. රන්කොත්‌ විහාරය සහ තදානුබද්ධ විහාරස්ථාන තුන පාලනය කිරීම සඳහා උන්වහන්සේ විසින්‌ ප්‍රශංසනීය උත්සාහයක්‌ දරන ලදී.

මහාචාර්ය මොරටුවේ සාසනරතන අනුනායක ස්වාමීන්දුයාණන්‌ වහන්සේ

(1958-1981)

ව්‍යවහාර වර්ෂ 1909 ජූනි 30 වෙනි දින මොරටුවේ කොරළවැල්ලෙහිදී උපත ලද සාසනරතන අනුනායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේ ශාන්ත පීතර විද්‍යාලයයෙන්‌ මූලික අධ්‍යාපනය ලැබූහ. 1924 අගෝස්තු 3 වෙනි දින පැවිදි බිමට පත්ව 1930 ජූනි 10 වෙනි දින උපසම්පදාව ලැබූහ. රාජකීය පණ්ඩිත, ග්‍රන්ථ විශාරද, විද්‍යා විශාරද යන උපාධීන්ගෙන් පිදුම්‌ ලත්‌ උන්වහන්සේ ආරම්භයේ සිට ම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයෙහි පාලි අධ්‍යයන අංශයෙහි සහ දර්ශන අංශයෙහි කථිකාචාර්ය ධුරයක්‌ හෙබවූහ. වර්ෂ ගණනාවක්‌ දර්ශන අංශයෙහි අංශාධිපති ධුරය දැරූහ. භාෂා, දර්ශන, ආගම්‌, පුරාවිද්‍යා, වාග්විද්‍යා ආදි විවිධ ක්ෂෙත්‍රයන්‌ කෙරෙහි උන්වහන්සේගේ පර්යේෂණ යොමු විය. උන්වහන්සේ වඩාත්‌ රුචි කළ විෂය ක්ෂේත්‍රය වූයේ මහායානයයි. මෙම විෂය පිළිබඳ නව සොයාගැනීම්‌ රාශියක්‌ උන්වහන්සේ විසින්‌ කරන ලදී. මේ පිළිබඳ දේශනවලට ඇහුන්කම් දීමට විද්‍යාර්ථීන්‌ දැක්වූයේ මහත්‌ අභිරුචියකි.

ඉතිහාසය

රන්කොත් විහාරස්ථානය ආරම්භ කිරීම

රන්කොත් විහාරය 1810 දී ආරම්භ කරන ලදී. ලංකාවේ අමරපුර නිකාය පිහිටුවා වදාළ අතිපූජනීය භදන්ත ශ්‍රී කතළුවේ ගුණරතන මහානායක ස්වාමීන්ද්‍රයාණන්‌ වහන්සේ සිය ප්‍රධාන ශිෂ්‍ය අතිගරු බටපොළ කල්‍යාණතිස්ස මාහිමියන්‌ සමග මේ දිනවල මේ ප්‍රදේශයට වැඩමකර සිටියහ. ජයභූමිය පිළිබඳ අදහස උන්වහන්සේට පවසා මෙහි විහාරස්ථානයක්‌ ගොඩනගන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටියහ. සැදැහැවතුන්ගේ ආරාධනය පිළිගත්‌ උන්වහන්සේ එය ඉටුකරන මෙන්‌ සිය ශිෂ්‍යවරයාට දන්වා සිටියහ. ඉහත කී ගල්වල අද්දර කුඩා කුටියකින්‌ ගල්කන්දේ විහාරය ආරම්භ විය. අතිගරු බටපොළ කල්‍යාණතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේ ආදිකතෘවරයාණෝය. රන්කොත්විහාරය අයත්වනුයේ අමරපුර නිකායටයි.
මුහුදේ සිට විහිදෙන විශාල කළුගල්‌ කන්දක්‌ වටා බැමි ඉදිකර වැලි පුරවා උඩ මළුව සකස්‌ කර තිබේ. වෙරළේ සිට පන්සල දක්වා සැදැහැවතුන්‌ පේලියට සිට අතින්‌ අත වැලි ගෙනවුත්‌ මළුව පුරවා තිබේ. පැරැන්නන්ගේ අචල ශ්‍රද්ධාව මේ සිද්ධියෙන්‌ සංකේතවත්‌ වෙයි.

රූප මන්දිරය පිහිටුවීම

පාණදුරේ රන්කොත්‌ විහාරයේ ඓතිහාසික පසුබිම පිළිබඳව සාකච්ඡා කිරීමේදී හමුවන ජීවමාන සාධකයක්‌ ලෙස එහි ඇති සිතුවම්‌ දැක්විය හැක. මෙම රූප මන්දිරය අවුරුදු 200කටත් වඩා පැරණිය. මහනුවර ප්‍රදේශයේ ක්‍රි:ව: 17 වන සියවසේදී ආරම්භ වී ක්‍රි:ව: 19 වන සියවස දක්වා වර්ධනය වූ සිතුවම්‌ කලාව මහනුවර සිතුවම්‌ සම්ප්‍රදාය නමින්‌ හැඳින්වේ. මුල්‌ කාලයේදී උඩරට ප්‍රදේශයේ පමණක්‌ සීමා වී තිබූ මෙම ශෛලිය පසු කාලීනව පහතරට ප්‍රදේශ කරා ද කෙමෙන්‌ කෙමෙන්‌ ව්‍යාප්ත විය. රන්කොත්‌ විහාරයේ විහාර මන්දිරයේ බිතුසිතුවම්‌ මහනුවර යුගයේ පසුකාලීනව ඇතිවූ පහත රට සිතුවම්‌ කලාවට ඇතුළත්‌ වේ.

පසුකාලීන වැඩි දියුණු කිරීම්

1821 දී විහාරස්ථානයට දෙමහල් සංඝාවාසයක් ඉදිකරන ලදි. 1863 දී විශාල පර්වතයක් මත ඉදිකරන ලද ස්තූපයේ ගෝලාකාරයේ බුදු ධාතූන් 1865 දී තැන්පත් කරන ලදී. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත්‌ පලඳා ඇත්තේ බු:ව 2422 වර්ෂයේදී ය. 1894 වන විට පන්සල් සංකීර්ණයට නව සිද්ධස්ථාන කාමරයක් එක් කරන ලද අතර 1930 දී "දේශනා ශාලාවේ" වැඩ නිම කරන ලදී. තවද බෝධි ගස වටා නව බලකොටුව 1981 දී නිම කරන ලදී.
1987 දී ජාත්‍යන්තර පුස්තකාලය ඉදිකරන ලද්දේ මහාචාර්ය ශ්‍රී මොරටුවේ සාසනරතන අනුනායක තෙරගේ අධ්‍යයන දායකත්වය සනිටුහන් කිරීම සඳහා ය. ශ්‍රී සාසනරතන දහම්‌ පාසල 1903 අප්‍රේල් 22 වෙනි දින ආරම්භ කරන ලදී.
1998 වර්ෂයේදී දේවතා රූප හතකින්‌ සමන්විත වූ නව දේවාලයක්‌ ඉදිකරන ලද අතර 2003 වර්ෂයේදී පැරණි බෝධිප්‍රාකාරය ඉවත්‌ කර අටවිසි බුදු කුටි සහිතව නව බෝධි ප්‍රාකාරයක්‌ පැරණි ගෘහනිර්මාණ ශෛලියට අනුව ඉදිකරන ලදී. බුරුමයෙන්‌ ගෙන්වන ලද ඉතා වටිනා කිරිගරුඬෙන්‌ නිමවූ ශ්‍රී පාද පද්මය තැන්පත්කර තිබූ පැරණි ශ්‍රී පාද මන්දිරය කඩාවැටීම නිසා නව මන්දිරයක්‌ 2007 වර්ෂයේදී ගොඩනගන ලදී. එකල පූජ්‍ය වල්පිට ගුණරතන තිස්ස තෙර මෙම ආරාමයට නායකත්වය දුන් අතර සංවර්ධන කටයුතු මේ වන විටත් අඛණ්ඩව පවතී.

අවුරුදු 200+ රූප මන්දිරය සහ බිතු සිතුවම් රැකගනිමු

ඊළඟ පරම්පරාවන් සඳහා අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට දායක වන්න

"පාණදුර රන්කොත් විහාරය එහි විවිධ පැතිකඩයන් අතර පාණදුර බෞද්ධ ජනගහනයේ ආගමික හා භක්තියේ සංකේතයක් ද වේ."

~පූජ්‍ය මහාචාර්ය බෙලන්විල විමලරතන අනුනායක තෙර
Spectrum, Sunday Observer (2010/10/03)